“සුමංගලාභිමානී” නිල පුවත්පත – දොරට වැඩුම

කන්ද උඩරට
සෙංකඩගලපුරවරයේ
සුනිල්වන් ගුවන්තල මතින්
හේමන්තයේ සිරි මවන
පබසර ප්‍රතිභාවේ
විශ්වීය නවාතැන්පළ

පිබිදෙන සුමඟුලේ හිරිපොද මතින්
සුමංගල අභිමානය ලොවට විදහාලන

“ සුමංගලාභිමානී ”

විද්‍යාලයීය නිල පුවත්පත් කල එළි මංගල්‍යය වර්ෂ 2025 ක් වූ මැයි මස 29 වැනි බ්‍රහස්පතින්දා දිනට පැවැති සුබ මොහොතින් කන්ද උඩරට සුමංගල අභිමානය යළි යළිත් තහවුරු කරමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

මෙම උත්කර්ෂවත් උත්සව අවස්ථාව

අස්ගිරි මහා විහාර මහා පිරිවෙණේ කෘත්‍යාධිකාරී ශ්‍රී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවීය විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත ගෞරවාර්හ අතිපූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

දරුවන්ගේ ලේඛන හැකියාවන් ප්‍රායෝගික තලයට රැගෙන යමින් අනාගත පරපුරට උචිත නිර්මාණශීලි ලේඛකයන් , විශ්ලේෂකයන් , මාධ්‍යවේදීන් හා සදාචාර සම්පන්න පුරවැසියන් බිහි කිරීමේ මූලික පරමාර්ථය පෙරදැරි කොට ගනිමින් කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කය තුළ මෙන්ම මධ්‍යම පළාතේ ද ප්‍රථම නිල පුවත්පත එළිදැක්වීමේ පාසලට හිමි ගෞරවයටද පාත්‍ර වෙමින් පුවත්පත් කලාවේ මහගෙදර ලේක්හවුස් ආයතනය හා එක් ව එළිදක්වනු ලැබූ “ සුමංගලාභිමානී ” විද්‍යාලයීය නිල පුවත්පත “ පිබිදෙන සුමංගල ” සංකල්පය අනුව යමින් ශ්‍රී සුමංගල විද්‍යාලයේ චිරන්තන අභිවෘද්ධිය වෙනුවෙන් තබන ලද සුවිශාල වූ අඩිතාලමක් ලෙස විවරණය කළ හැකිය.